කුජ හතේ හෝ අටේ පිහිටීම කණවැන්දුම් යෝගයක්‌ද?


ජ්‍යොතිෂ විද්‍යාවේ පිහිට පැතීමට පැමිණෙන තරුණ තරුණියන්ගේ සිත්වල පවතින විශාල බියක්‌ වන්නේ "බහුම දෝෂය" හෙවත් අඟහරු (කුජ) ග්‍රහයා හත් වැන්නේ හෝ අටවැන්නේ පිහිටීම යි.

විවාහයකදී පොරොන්දම් පරීක්‌ෂා කරන විට, මේ පොරොන්දම් පරීක්‌ෂා කරන ජ්‍යොතිෂවේදියාගේ ඇස යොමුවන ප්‍රධාන කරුණක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය. ඊට හේතුව වන්නේ මෙම ග්‍රහ පිහිටීම විවාහයට එක්‌තරා ගැටළු සහගත තත්ත්වයක්‌ ලෙස ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙනු ලබන නිසාවෙනි.

          ස්‌ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයම මේ සම්බන්ධව දැඩි බියකින් පසු වුවද විවාහයේදී පොරොන්දම් ගැලපීමේදී මීට වඩා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කරුණු තිබේ. එමගින් සිදුවන හානි බහුම දෝෂයෙන් සිදුවන හානි වලට වඩා දරුණු වු අවස්‌ථාද අප දැක ඇත.

          එහෙත් බොහෝ විට සමාජයේ ව්‍යවහාරව පවතින්නේ කුජ හතේ හෝ අටේ පිහිටීම විවාහය අසාර්ථක කරනු ලබන කණවැන්දුම් යෝගයක්‌ ලෙසිනි.

           පොරොන්දම් පරීක්‌ෂා කිරීමේදී කුජ ග්‍රහයා මෙන්ම සෙනසුරු, ගුරු, රවී ආදී ග්‍රහයන් පිළිබඳවද සැලකිල්ල යොමුකර පලාඵල කීම වැදගත්වේ.

          මෙහිදි කුජ ග්‍රහයා මුල් කරගෙන කතා කරන බැවින් ඉදිරියෙදි එක්‌ එක්‌ ග්‍රහයන් පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙමු. 

           යොවුන් සිත්වල ඇතිවන උත්තරීතර වු ආදරය භුක්‌ති විඳිමින් වසර ගණනාවක්‌ ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වා ගෙන යනු ලබන දෙදෙනෙක්‌ විවාහ වීමට නැකැත් සෑදීමට යැමේදී හෝ විවාහයට දින නියම කර ගැනීමට යැමේදී කුජ හත් වැන්නේ හෝ අට වැන්නේ තිබීම හේතුවෙන් ඇතිවන බහුම දෝෂ තත්ත්වයට මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන්ට එතැන් පටන් අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවෙති. මන්දයත් ඔවුන් දෙදෙනාගේ එම ප්‍රේම සම්බන්ධය කොයිතරම් දුර ගිය එකක්‌ද, කුමන සීමාවන් තුළ තිබූ එකක්‌ද යන වග දන්නේ ඔවුන් දෙදෙනා පමණක්‌ බැවිනි. එහිදී ප්‍රධාන වශයෙන් චරිතයට හානියක්‌ නැතහොත් අසාධාරණයක්‌ සිදුවනුයේ කාන්තා පාර්ශවයටයි.

            කාන්තාවක්‌ යනු පවිත්‍ර, පිරිසිදු කෙනෙක්‌ වන බැවින් ඇයට වෙනත් විවාහයක්‌ කරා යාමේදී සමාජයෙන්, අසල්වැසියන්ගෙන්, ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ඇතිවන කටකතා, නින්දා අපහාස හේතුවෙන් ඉතා අමිහිරි වූ කටුක අත්දැකීම් විඳ ගැනීමට සිදුවීම නොවැළැක්‌විය හැකි කරුණකි. එහිදී ඇයට මානසික වශයෙන් පීඩා විඳීමට සිදුවෙයි.

            පුරුෂ පාර්ශවය පැත්තෙන් ගත් කල , මුළු හදවතින් ම ආදරය කිරීමට පෙළඹෙන පෙම්වතෙකුට මේ තත්ත්වය උරුම වුවහොත් ඔහු මානසික අසහනකාරීතත්ත්වයට පත් විය හැකිය. බේබද්දෙක්‌ විය හැකිය. ජීවිතයට හානිකර ගැනීම මෙන්ම රැකී රක්‌ෂා අහිමි කර ගැනීමෙන් දෙමාපියන් ද අසරණ කරමින් දරුණු පුද්ගලයෙකු විය හැකිය. එසේත් නැතහොත් කිසිදු පුද්ගලයෙකු, මිතුරකු ඇසුරු නොකරන හුදකලා වූ පුද්ගලයෙකු බවට පත් විය හැකිය.

              එසේ නම් මෙම දෝෂ මැඩගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ කේන්ද්‍රයේ ඇති කුජ පිහිටීමට අනෙක්‌ පාර්ශවය ගලපා ගන්නේ කෙසේද යන්න මිලගට
විමසා බලමු. 

 ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
  

No comments:

Post a Comment