ගතානුගතිකව ජ්‍යොතිෂ විද්‍යාව පොත පතට සීමා නොකොට නොයෙක් පරීක්‍ෂණ කරමින් ඔහු වෙත හඳහන් පරික්‍ෂා කර ගැනීමට පැමිණෙන ජනයාගේ විවිධ ගැටලු නිරාකරණය කිරීම තුළින් ලබාගත් ප්‍රායෝගික දැනුම් සම්භාරය ඒකාරාශී කර ගනිමින් යම් කේන්ද්‍රයක ඇති ග්‍රහදොෂ දුටු සැනින් කිසිදු සැකයකින් තොරව පෙරළා අනාවැකි කීමට සමත් ඔහු නමින් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මංජුල පීරිස්‌ය. එක යෝගයක් හෝ එක් ග්‍රහ පිහිටීමක් සිය දෙනකුට එකම ප්‍රතිඵල ලබාදී තිබේ නම්, එකසිය එක් වැනියාට එසේ නොවීමට හේතුවක් නොමැති බව ඔහුගේ විශ්වාසයයි. ඒ අනුව පොරොන්දම් පිළිබඳ ඔහුගේ මතය මෙසේය.
ජ්‍යොතිෂ විද්‍යාවට අනුව 'විවාහය' දියුණුව මෙන්ම පිරිහීමේ දොරටුව ලෙස අර්ථ දැක්‌විය හැක. විවාහ දිවියට ඇතුළු වීමට පෙර පොරොන්දම් ගලපා ගැනීමෙන් දියුණුවේ දොරටුව විවෘත කර ගත හැක. හිතුමනාපෙට කිසිදු ගැලපීමකින් තොරව ආදරය හෝ ආශාව සංසිඳුවා ගැනීමට කරගනු ලබන විවාහය නිසා මුළු ජීවිතයම පිරිහීමට හේතුවිය හැක. එකමුතුව ජීවිතයට මුහුණ දීමට නොහැකි වේ නම් යමෙක් විවාහ නොවිය යුතුය. විවාහ ජීවිතයේ පරමාර්ථය වන්නේ අඹු සැමියන් ඔවුන්නොවුන් අන්‍යෝන්‍ය වශයෙන් හරිහැටි හඳුනාගෙන කායික, මානසික තෘප්තිය ලබමින් එකමුතුව ජීවිතය ගත කිරීම වේ. සිත් දෙකක්, ශරීර දෙකක්, චරිත දෙකක් එකමුතු කරවීමට අනාදිමත් කාලයක සිටම පොරොන්දම් පරීක්‍ෂාණ සිදු කෙරිණ. පොරොන්දම් විනිශ්චය තුළින් මනාව ගැලපෙන යුවළක් තෝරා අරඹන යුග දිවිය සෑම අයුරින්ම උසස් වේ. සැපවත් වේ. හොඳ ආහාර පාන, ඉඳුම් හිටුම්, යාන වාහන ලැබේ. සැමියාගේ පාර්ශ්වය බිරිඳගේ පාර්ශ්වය සමග සුහදශීලීව කල් ගත කිරීමේ වාසනාව ලැබේ. යුග දිවියට පා තැබූ දිනේ පටන් දියුණුව කරා ගමන් කිරීමේ භාග්‍යය ලැබේ. ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියක් සිටිනවාය යන කියමන එමගින් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. ඈත අතීතයේ දොළොස් වසක් සපිරුණු තරුණියක් ද සොළොස්‌වසක් සපිරුණු තරුණයෙක් ද විවාහයට සුදුසුය යන්න මතයක් විය. යම් පියෙක් තම දොළොස් විය පිරුණු දියණිය නිවසේ රඳවා සිටී ද, ඔහු තම දරුවා මරා දැමීමේ පාපයට ගොදුරු වන බවත්, එම පියාට දඬුවමක් ලෙස එම දියණියට තමන් කැමති ඕනෑම පුරුෂයෙකු හා විවාහ වීමට හැකියාව තිබුණි.
ආදර සබඳතා මත විවාහවීම් සුලභ නොවූ අතීතයේ යෝජිත සහකරු තරුණියගේ නිවසට පැමිණි කල ඇය බුලත් හෙප්පුව රැගෙන විත් ඔහු පිළිගනු ලැබීය. ඒ යුගයේදී දෙමව්පිය පාර්ශ්වයන් පොරොන්දම් ගලපා තම දියණියගේ හෝ පුතණුවන්ගේ අනාගතය වෙනුවෙන් තීරණ ගන්නට විය.
බ්‍රහ්ම, දෛවත, ආකර්ෂ, ප්‍රජාප්‍රත්‍ය, අසුර, ගාන්ධර්ය, රාක්‍ෂ, පයිස්‌චාත වශයෙන් අතීතයේ විවාහය ක්‍රම 8 කට සිදු කෙරුණු බව පුරාණ ඉන්දියාවේ ධර්ම ශාස්‌ත්‍ර ආචාර්යවරු පවසා ඇත.
පොරොන්දම් පරීක්‍ෂණයේදී ජ්‍යොතිෂවේදියා කියන පුද්ගලයාට ශාස්‌ත්‍රය පිළිබඳ ඥනය හා ප්‍රඥව මෙන්ම තුන්වැනි ඇසක්‌ද තිබීම වැදගත් වේ. එක් යෝගයක් සහ එක් ග්‍රහයකු පිළිබඳ එක් එක් ජ්‍යොතිෂවේදීන් වෙනස් වූ අයුරින් දැකිය හැක. මෙහිදී එහි පිහිට පතන පුද්ගලයාට එමගින් සාධාරණයක් හෝ අසාධාරණයක් සිදුවේ. අපි කියන අනාවැකිය අපේ හෘද සාක්‍ෂියට එකඟව, ඒකාන්තයෙන්ම සිද්ධ වේ නම් පමණක් කිව යුතුය. පොරොන්දම් නොගැලපීම් මත අපි බැඳලා මාස හයෙන් මැරෙනවා කිව්වා, අපි බැඳලා අවුරුදු පහකින් වෙන්වෙනවා කිව්වා, අනේ අපට දරුවන් ලැබෙන්නේ නෑ කිව්වා, අපි දෙන්නා විවාහ වුණොත් අම්මා මැරෙනවා කිව්වා ආදී වශයෙන් බහුතරයක් මැසිවිලි නඟති. මෙවැනි දේට අනාවැකි කීමේදී බොහොම පරීක්‍ෂාකාරීව සිතා, එම මොහොතේම පිළිතුරු දිය නොහැකි නම් තව දුරටත් එම කේන්ද්‍ර පිටපත් අධ්‍යයනය කර තම අදහස පැවසිය යුතුය. එසේ නොමැතිව අත්තනෝමතිකව තම අදහස් ප්‍රකාශ කිරීමෙන් සිදුවන හානිය කියා නිම කළ නොහැකි මෙන්ම ඒ තුළින් ජ්‍යොතිෂ විද්‍යාවද පරිහානියට පත්වේ. පොරොන්දම් නොබලාම විවාහ වෙනවා යන මතයට වඩා පොරොන්දම් ගලපා විවාහවීම තුළින් තමාට යම්කිසි ආරක්‍ෂාවක් සපයා ගනිමින් යුග දිවිය සාර්ථක කර ගැනීමට ඇති අවකාශය වැඩි වේ. යමෙක් පොරොන්දම් විශ්වාස කළා හෝ නොකළා හෝ ජ්‍යොතිෂ විද්‍යාව කිසිදු ජාතියකට, ආගමකට, කිසිදු කුල මල භේදයකට ආවේණික වූ පටු ශාස්‌ත්‍රයක් නොවන අතර කොයි කා හටත් පොදුවේ වැඩදායක කර ගත හැකි ශාස්‌ත්‍රයකි.
නැකත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දීර්ඝ, යෝනි, රාශි, රාෂ්‍යාධිපති, වශී, රඡ්ජු, වේද, වෘක්‌ෂ, ආයුෂ, පක්‍ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, නාඩි, දින, ග්‍රහ ආදී වශයෙන් පොරොන්දම් 20 කි. මෙම පොරොන්දම් විස්‌සම ගලපා ගැනීමට හතිදාගෙන දිවීමට අවශ්‍ය නැත. ජ්‍යොතිෂවේදියෙකු හැටියට මගේ පෞද්ගලික දැනීම වන්නේ අනිවාර්යයෙන්ම නැකත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දීර්ඝ, යෝනි සහ රාෂ්‍යාදී යන මේ පොරොන්දම් 07 ඉතා හොඳින් ගැලපේ නම් අනෙක් පොරොන්දම් නොගැලපුනද විවාහයට විශාල බාධාවක් නොවන බවයි. මෙහිදී විශේෂයෙන් ගණ සම්බන්ධව කතා කළ යුතුය. මම දේව නැතහොත් මනුෂ්‍ය ගණයේ මගේ අතගන්නා සහකරු හෝ සහකාරිය රාක්‍ෂ ගණයේ පිහිටා තිබීම නිසා දෙමව්පියන් පවසනුයේ, කොහොමද දේව හෝ මනුෂ්‍ය ගණයේ උපන් අයෙක් රාක්‍ෂයෙක් සමග පවුල් ජීවිතයක් ගත කරන්නේ යන මිථ්‍යා විශ්වාසය පැතිරී තිබීමය. එහි ඇති සත්‍යය වන්නේ රාක්‍ෂ ගණයේ පුද්ගලයෙක් දේව හෝ මනුෂ්‍ය ගණයේ සහකරුව හෝ සහකාරියව දැඩි නීති පනවමින් පමණ ඉක්‌මවා ආරක්‍ෂා කර ගැනීමට පෙළඹීමයි.
යමෙක් අවුරුදු ගණනක් ආදරය කිරීමෙන් පසු පොරොන්දම් නොගැලපීම මත විවාහ නොවී සිටීම ජ්‍යොතිෂ විද්‍යාව ඔවුනට සිදු කරන අසාධාරණයක් වේ. පෙර ආත්මයේ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් නොමැති නම් ඔවුන්ට දිගු කාලයක් ආදරය කිරීමට හැකියාවක් නැත. එසේ නම් සසරේ ආ දිගු ගමන නිසා ඔවුන් විවාහ වීමට එක් අංශයකින් සුදුසුකම් ලබා ඇත.
යෝජිත විවාහයකදී කෙටි කාලයක් ඇසුරු කිරීමෙන් පොරොන්දම් නොගැලපීම මත අනාගතය වෙනුවෙන් දෙදෙනා ඈත් වූවාට කම් නැත. නමුත් වසර දහයක් පමණ ආදරය කිරීමෙන් පසු පොරොන්දම් නොගැලපීම මත වස විස කා මිය යාමට අවශ්‍ය නොවේ. ඒ සඳහා ජ්‍යොතිෂයේ කළ හැකි ප්‍රතිකර්ම ද වේ. උදාහරණයක් ලෙස ඉන්දියානු නිළි අයිශ්චර්යා රායිගේ සහ අභිෂේක් බච්චන්ගේ කේන්ද්‍රවල නොගැලපීම් ඉන්දීය දෛවඥයින් විසින් පෙන්වා දෙනු ලැබීය. එයට ප්‍රතිකර්මයක් වශයෙන් ආයුෂ අඩු ගසක් වන කෙසෙල් ගස සමග අයිශ්චර්යාගේ පළමු විවාහය සිදු කෙරිණි. කාලය ගත වීමත් සමග කෙසෙල් ගසට මැරෙන්න ඉඩ දී දෙවැනි විවාහය ලෙස අභිෂේක් සමග විවාහ වුණා. මෙවැනි විකල්ප ක්‍රම මගින් දොෂ භංග කර දැමීමට පුළුවන්කම ඇත. මොනම අයුරකින්වත් පොරොන්දම් නොගැලපෙන දෙදෙනෙක්, නමුත් ඔවුන් ප්‍රායෝගිකව හැසිරීමේදී පවා ඇත්තේ පුදුමාකාර බැඳීමක්. මේ තත්ත්වය කුමක්‌දැයි මම විමසා බලන්නට වීමි. පොරොන්දම් නොගැලපෙන දෙදෙනෙක් විවාහ වුණා. දසමසක් සපිරෙන කල දරු සුරතල් බලන්නට ඔවුන් වාසනාව ලැබුවා. ඒ දරු පැටියාගේ කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේදී එහි ඇත්තේ මවගේ සහ පියාගේ සෙනෙහස උපරිමය උරුම වෙන යෝගයක්. එසේනම් ඒ දෙමවුපියන් කිසිසේත් වෙන්වන්නේ නැත. එහිදී දෙමවුපියන්ගේ පොරොන්දම් වලට වඩා දරුවාගේ සෙනෙහස, ආදරය, දෛවය මුල් වීම තුළින් පවුල නමැති ඒකකය වඩාත් ස්‌ථාවර වී ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්
No comments:
Post a Comment