ලග්න හා චන්ද්‍ර රාශ්‍යාධිපති පොරොන්දම

           මෙම පොරොන්දමේ වැදගත්කම උසුලන්නේ ලග්නාධිපති ග්‍රහයායි. ඕනෑම ලග්නයකට ලග්නාධිපති ග්‍රහයෙක්‌ සිටියි. ඒ අනුව,

          මේෂ ලග්නයට ලග්නාධිපති කුජ ග්‍රහයාද, වෘෂභයට සිකුරු ග්‍රහයාද, මිථුනට බුධ ග්‍රහයාද , කටකට සඳු ග්‍රහයාද, සිංහට රවි ග්‍රහයාද, කන්‍යාවට බුධ ග්‍රහයාද, තුලාවට සිකුරු ග්‍රහයාද, වෘශ්චිකට කුඩා ග්‍රහයාද, ධනුට ගුරු ග්‍රහයාද, මකරට ශනි ග්‍රහයාද, කුම්භට ශනි ග්‍රහයාද, මීනට ගුරු ග්‍රහයාද ආදී වශයෙන් ලග්නයට අධිපති ග්‍රහයන් පිළිබඳව ජ්‍යොතිෂ පෙන්වා දෙයි. ලග්නය සඳහන් කොටුව කිසි විටෙක හිස්‌ව නොපවතියි. ඒ කෙසේද යත් ඕනෑම පාලු නිවසකට සෘජුවම පෙනී නොසිටියද කුමන ස්‌ථානයක හෝ හිමිකරුවෙකු සිටින්නාක්‌ මෙනි.

         ස්‌ත්‍රි හා පුරුෂ යන දෙපාර්ශවයන්ගේ ලග්නවල අධිපතිත්වය දරන ග්‍රහයන් දෙදෙනා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව කියයි. එක්‌ ග්‍රහයෙකුට තවත් ග්‍රහයෙක්‌ මිතුරු වන අයුරුත් , සතුරු වන අයුරු හා මුස්‌ වන අයුරුත් පෙන්වා දෙයි.

         උදාහරණයක්‌ ගෙන බැලුවහොත් ඔබ යම් උත්සවයකට සහභාගි වුවා යෑයි සිතන්න. ඔබ බොහෝ විනෝදයෙන් එහි පැමිණි පුභූන් හා හිතමිත්‍රාදීන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින විට ඔබේ සතුරෙකු එම ස්‌ථානයට පැමිණියේ නම් ඔබේ සතුට සහමුලින් ම ඔබෙන් ගිලිහී යයි. හද ගැස්‌මක්‌, චකිතයක්‌ සහිතව කලබල වී ඔබ එතැනින් හැකි විගසින් පිටත්ව යාමට තීරණය කරයි.

        එලෙසම ලග්නාධිපති ලග්නාධිපතිට සතුරු වී තිබිය දී විවාහවීමෙන් දෙදෙනාට දෙදෙනා හමුවන හැම විටම ගැටලු බහුල වීම නිසා යුග දිවියේ සාර්ථකත්වයට බාධා පැමිණේ.

         යම් කෙනෙකු උපදින වේලාවේ ලග්නය මුල්කොට ගෙන පලාඵල කියුවද, දක්‌ෂ ප්‍රවීණ ජ්‍යොතිෂවේදියා රවි ග්‍රහයා මෙන්ම සඳු ග්‍රහයාද මුල් කොට ගෙන ඵලාඵල රැකීමට කීමට සමත්වේ. එසේ සඳු මුල් කරගෙන පලාඵල කීම චන්ද්‍ර ලග්න කේන්ද්‍රය නම්. එහිදී චන්ද්‍ර රාශියට අධිපති ග්‍රහයන් දෙදෙනා අතර ඇති සම්බන්ධය මිත්‍රද, සමද, සතුරු ද යන්න විමසා බලයි.

මෙම පොරොන්දම පහත සඳහන් අයුරින් ගළපා බලයි.

දෙදෙනාගේ ලග්නාධිපති ග්‍රහයන් දෙදෙනා අතර ද,

දෙදෙනාගේ චන්ද්‍ර රාශී අධිපති ග්‍රහයන් දෙදෙනා අතරද,

පුරුෂයාගේ ලග්නාධිපති ග්‍රහයා සහ ස්‌ත්‍රියගේ චන්ද්‍ර රාශ්‍යාධිපති යන ග්‍රහයන් දෙදෙනා අතරද,

පුරුෂයාගේ චන්ද්‍ර රාශ්‍යාධිපති ග්‍රහයා සහ ස්‌ත්‍රියකගේ ලග්නාධිපති යන ග්‍රහයන් දෙදෙනා අතර ද,

4ම මිත්‍ර නම් - ඉතා ශුභයි

4ම සම නම් - ශුභයි

4ම සතුරු නම් - ඉතා අශුභය

3ක්‌ මිත්‍ර නම් - ශුභයි

3ක්‌ සම නම් - ශුභයි

3 ක්‌ සතුරු නම් අශුභයි

2ක්‌ මිත්‍ර නම් සහ 2ක්‌ සම නම් ශුභයි.

2ක්‌ සතුරු නම් අශුභයි.

2ක්‌ මිත්‍ර වී 2ක්‌ සම වී නම් - ශුභයි

2ක්‌ මිත්‍ර වී 2ක්‌ සතුරු හා සම නම් - අශුභයි

2ක්‌ සතුරු වී 2ක්‌ සම නම් - අශුභයි

1ක්‌ මිත්‍ර වී 3ක්‌ සම නම් - මධ්‍යමය 



ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌

 

රාශි පොරොන්දම

         මීළඟට අපි කතා කරන්නේ රාශි පොරොන්දම පිළිබඳවයි. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ.

මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය.

දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි.

දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක්‌ උපන්නේ නම් ශුභයි.

ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි.

මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස්‌ දෙකකි. ස්‌ත්‍රී රාශියක්‌ ස්‌ත්‍රියට, පුරුෂ රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් ශුභයි.

ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි.

ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක්‌ පුරුෂයාට වී නම් අශුභයි.

දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 
 

යෝනි පොරොන්දම

           මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

           අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ/අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.

          එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.

        එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.

       එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

        මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

         අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

         ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

        දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

        එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම

           පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක්‌ දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.

           ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ.

          10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ.

          14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌ 

මහේන්ද්‍ර පොරොන්දම

           ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක්‌ වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 
 

ගණ පොරොන්දම

ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී,

         1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්,

දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.

දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.

දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි

මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි

ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.

ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.

          තමන්ගේ සහකාරිය හෝ සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. නමුත් මෙහිදී "රාක්‌ෂ" යන්නෙන් අදහස්‌ වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි. 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌

 

නැකත් පොරොන්දම

           1. අස්‌විද 2. බෙරණ 3. කැති 4. රෙහෙණ 5. මුවසිරස 6. අද 7. පුනාවස 8. පුෂ 9. අස්‌ලිස 10. මා 11. පුවපල් 12. උත්‍රපල් 13. හත 14. සිත 15. සා 16. විසා 17. අනුර 18. දෙට 19. මුල 20. පුවසල 21. උත්‍රසල 22. සුවණ 23. දෙනට 24. සියාවස 25. පුවපුටුප 26. උත්‍රපුටුප 27. රේවතී

ආදී වශයෙන් ජ්‍යොතිෂ විද්‍යාවේ නැකැත් 27 කි.

           ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකතට ගැළපෙන නැකතක්‌ තෝරා ගැනීම නැකත් පොරොන්දම තුළින් සිදුවේ.

           ස්‌ත්‍රිය උපන් නැකත සිට පුරුෂයා උපන් නැකත දක්‌වා අපි ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධක - වද - මෛත්‍රී - පරම මෛත්‍රී වශයෙන් ගණනය කළ යුතුය. එහිදී ජන්ම - සම්පත් ලෙස නැකත වී නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් ක්‌ෂේම නැකතක්‌ වී නම් ශුභයි. ඡන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි නැකතක්‌ වී නම් අශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධ නැකත නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධ - වද නම් අශුභයි.

අපි උදාහරණයක්‌ ගෙන බලමු.

           යම් ස්‌ත්‍රියක්‌ අස්‌විද නම් නැකැත් 27 න් පළමු නැකතෙන්ද පුරුෂයා කැති නැකතින්ද උපන්නා යෑයි සිතන්න. එහිදී අස්‌විද, බෙරණ , කැති යන නැකැත් පිළිවෙළින් ජන්ම සම්පත් - විපත් ලෙස ගණනය කරන්න. කැති නැකතට විපත් යෙදෙන නිසාවෙන් එම දෙපළගේ නැකත් පොරොන්දම නොගැළපේ. මෙම ක්‍රමයට ගණනය කිරීමේ අපහසුතාවයක්‌ ඇත්නම් පහත සඳහන් ක්‍රමය අනුගමනය කළ හැකිවේ.

          ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 2, 4, 6, 8, 9, 11, 13, 15, 17, 18, 20, 22, 24, 27, යන නැකත වී නම් ශුභයි. අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි. මේ ක්‍රමයටම නැවත පුරුෂයා උපන් නැකතේ සිට ස්‌ත්‍රිය උපන් නැකත ද 2, 4, 6 ආදී නැකතක්‌ වී නම් වඩාත් ශුභ ලෙසත් අන්‍ය නැකතක්‌ වී නම් එය ඉතා අශුභ බවත් ජ්‍යොතිෂය පෙන්වා දෙයි.

දෙදෙනාම එකම නැකතේ පාද දෙකක වී චන්ද්‍ර රාශියද එකක්‌ම වී නම් ශුභයි. එවිට ධනය ද, පින ද, සමගිය ද ඇතිවේ.

දෙදෙනා නැකත් දෙකක වී චන්ද්‍ර රාශිය එකක්‌ම වී නම් දරු ලාභ හා සැප ලැබේ.

දෙදෙනාම එකම නැකතේ වී චන්ද්‍ර රාශි දෙකක නම් දෙදෙනාටම සැප නොලැබේ.

දෙදෙනා ම එකම නැකතේ එකම පාදයේ නම් අශුභයි.
 
දෙදෙනා ම එකම චන්ද්‍ර රාශියේ වී පුරුෂ නැකත මුල් නැකත ද, ස්‌ත්‍රී නැකත දෙවන නැකත ද වී නම් ඉතා ශුභයි.

දෙදෙනාම එකම චන්ද්‍ර රාශියේ වී, ස්‌ත්‍රී නැකත මුල් නැකත ද, පුරුෂ නැකත දෙවැනි නැකත ද, වී නම් ස්‌ත්‍රී නැකතට පුරුෂ සම්පත් වුවත් ශුභ මධ්‍යමයි.

දෙදෙනා ම එකම නැකතේ වී පුරුෂයා මුල් පාදයත්, ස්‌ත්‍රී පසු පාදයත් වීමද ශුභයි.

        දැන් ඔබට නැකත් පොරොන්දම හා එයින් සිදුවන කාර්යභාරය පිළිබඳ යම් වැටහීමක්‌ ලැබී ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

අපි දැන් පොරොන්දම් විස්‌ස පරීක්‌ෂා කර බලමු...

විවාහවීමට සූදානමින් සිටින තරුණ තරුණියන් දැන ගත යුතුම කරුණු රාශියකි.

          විවාහයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන දෙපළක්‌ තමන්ගේ පවුලේ ජ්‍යොතිෂවේදියා වෙත ගොස්‌ පොරොන්දම් පරීක්‌ෂාව සිදු කර ගනිති. මෙම පොරොන්දම් පරීක්‌ෂාව මගින් යුග දිවිය පිළිබඳ යම් නිවැරදි තීරණයකට එළැඹිය හැකි බැවින් මෙම 20 පොරොන්දම් පිළිබඳ යම් දැනුමක්‌ අපේ ආදරණීය යෞවන යෞවනියන්ට ලබා දීමට සිතුවෙමු.

ජ්‍යොතිෂයේ පොරොන්දම් 20 කි. එනම්,

1. නැකත් පොරොන්දම

2. ගණ පොරොන්දම

3. මහේන්ද්‍ර පොරොන්දම

4. ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම

5. යෝනි පොරොන්දම

6. රාශි පොරොන්දම

7. ලග්න හා චන්ද්‍ර රාශ්‍යාධිපති පොරොන්දම

8. රඡ්ජු පොරොන්දම

9. වශ්‍ය පොරොන්දම

10. වේධ පොරොන්දම

11. වෘක්‌ෂ පොරොන්දම

12. ආයුෂ පොරොන්දම

13. පඤ්ච පක්‌ෂි පොරොන්දම

14. පඤ්ච භූත පොරොන්දම

15. ගෝත්‍ර පොරොන්දම

16. වර්ණ පොරොන්දම

17. ලිංග පොරොන්දම

18. දින පොරොන්දම

19. නාඩි පොරොන්දම

20. ග්‍රහ පොරොන්දම

අපි මෙතැන සිට පොරොන්දම් එකින් එක පිළිබඳ කතා කරමු..

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌

 

විවාහ දිවිය සොඳුරු ලෙස පවත්වාගෙන යැමට නම්...

            විවාහය පිළිබඳ කතා කරන විට ජ්‍යොතිෂයන්, නවීන විද්‍යාවත්, බුදු දහමත් අතර විශාල සබැදියාවක්‌ අපට දක්‌නට ලැබේ.

"නානත්ථි කාය - නානත්ථි සංඥාය"

           අදහස්‌ දෙකකින් යුත් පුද්ගලයන් දෙදෙනකුට ගැටුමකින් තොරව එක මඟ යා නොහැකි බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මීට වසර 2600 කට පෙරාතුව වදාළ සේක.

           යථෝක්‌ත කරුණ මුදුන් පමුණුවා ගැනීමට ජ්‍යොතිෂය පිටුවහලක්‌ කර ගනිමින්, ආදරය විවාහයකට පෙරළී දීර්ඝකාලීන අභිනව ගමනක්‌ යාමට සූදානම් වන මොහොතේ පොරොන්දම් විනිශ්චය තුළින් එකී ගමන එළි පෙහෙළි කර ගැනීම හෙට දින පතිකුලයට පිවිසෙන ඔබගේ වගකීම වේ.

          පොරොන්දම් යනු පුරුකෙන් පුරුක බැඳුණු, එසේත් නොමැති නම් ආත්ම ගණනාවක්‌ පුරාවට ස්‌නේහයෙන් බැඳුණු යුවළක්‌, යුවතිපතීන් වීමට සුදුසුද යන්න වග ජ්‍යොතිෂය න්‍යාය ධර්මයට අනුව නිවැරදිව වටහා ගැනීමේ ක්‍රමවේදයකි.

          කේන්ද්‍රයක මූලික වශයෙන් ඇති වන දෝෂ අතර බහුම දෝෂය හෙවත් කුජ හත් වැන්නේ පිහිටීම, (මීට පෙර අවස්තාවන් වලදි අපි කතා කළෙමු) ශනි හත් වැන්නේ පිහිටීම, රාහු හත් වැන්නේ පිහිටීම පිළිබඳව ඇසූ සැනින් තරුණ තරුණියන් භීතියට පත් වන්නා වූ ග්‍රහ පිහිටීම් වේ. නමුත් කේන්ද්‍රයක රවි හත් වැන්නේ පිහිටීම සම්බන්ධයෙන් ජ්‍යොතිෂය කෙබදු න්‍යාය ධර්මයක්‌ අනුගමනය කරන්නේද යන්න පුවත් පත් මගින් හෝ වෙනත් ජනමාධ්‍යයන්ගෙන් හෝ නොඇසූ දුර්ලභ කාරණාවක්‌ වන බැවින් මේ මගින් පාඨක ඔබව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සිතුවෙමි. මන්දයත් මේ රවි හත් වැන්නේ පිහිටීම ද යම් දෙපළකගේ විවාහයකදී අවධානය යොමු විය යුතුම අංගයක්‌ වන බැවිනි.

          යම් බිරිඳකගේ කේන්ද්‍රයේ හත් වැන්නේ රවි ග්‍රහයා බලවත්ව පිහිටීමෙන් තමන්ගේ ස්‌වාමියා හා ඔහුගේ පාලනයෙන් මිදී ඇය එක්‌ දිනකට හෝ නිවසින් පිටවී ඇයගේ මහ ගෙදර බලා යාම සිදුවේ. මෙවැනි තත්ත්වයක්‌දී විවාහ ජීවිතයේ ගැටලූ ඇති කරවන බැවින් විවාහයට පෙර පොරොන්දම් ගැලපීමේදී ජ්‍යොතිෂවේදියාගේ අවධානය අනිවාර්යයෙන්ම මේ වෙත යොමු විය යුතුය.

          ස්‌ත්‍රියගේ හෝ පුරුෂයාගේ කේන්ද්‍රයේ රවි හත් වැන්නේ හෝ වෙනත් රාශියක පිහිටියා වූද එකී රවි ග්‍රහයා එක්‌ පාර්ශවයක දුබලව පිහිටිය යුතුවේ. දෙදෙනාගේ ම රවි ග්‍රහයා බලවත් වී පිහිටීම විවාහ ජීවිතයට ගැටලු බාධා ඇති කරයි.

          සකල ලෝක සත්වයාගේ පැවැත්ම සහ චර්යා පද්ධතිය සඳහා සූර්යයා ප්‍රභාව, ශක්‌තිය අත්‍යාවශ්‍යමය. නව ග්‍රහයන්ගෙන් ප්‍රමුඛත්වය දරන හිරු ග්‍රහලොවේ රජු ලෙස හැඳින්වේ. රවිගේ බලයට සෙසු ග්‍රහලෝක සියල්ලම යටත් කර ගනු ලබයි. ඒ නිසා රවි ග්‍රහයා පහසුවෙන් කෙනකුට අවනත නොවන, දෙවැනි නොවන, හිස නොනමන ලක්‌ෂණයන්ගෙන් සමන්විත වේ.

          කිසියම් පුද්ගලයෙකුට රවිගේ බලපෑම ලද විගස ඒ පුද්ගලයා තුළ මහත් ආඩම්බරයක්‌ නැතහොත් අභිමානයක්‌ නිතැතින් උපදී. ඒ අනුව පුරුෂයාගේ කේන්ද්‍රයේ රවි බලවත් ලෙස පිහිටා ඇත. ස්‌ත්‍රියගේ කේන්ද්‍රයේ ද රවි බලවත් ලෙස ස්‌වක්‌ෂත්‍රයි, උච්චයි, මූලක්‌ ත්‍රිකෝණයි" එසේ නම් මේ දෙදෙනාට දෙදෙනා හිස නොනමන යටත් නොවන තත්ත්වයක්‌ පෙන්වයි. මේ හේතුවෙන් විවාහ දිවියේ නිරන්තර ගැටුම් ඇතිවේ.

විවාහ දිවිය සොඳුරු ලෙස පවත්වාගෙන යාමට නම්,

         එම කැදැල්ලේ එකමුතුකම තිබිය යුතුය. ගැටලු සහගත තත්ත්වයන් පැන නැගුණු අවස්‌ථාවකදී බිරිඳ හෝ ස්‌වාමියා යන දෙදෙනාගේ එක්‌ පාර්ශවයක්‌ අනෙකා හමුවේ යටත් විය යුතුය. නිහඬ විය යුතුය. තමන්ගේ පරාජය බුද්ධිමත්ව ඉවසීමෙන් විඳ දරා ගත යුතුය.

          පහත් ලෙස නොහැසිරීමෙන් හා අනුවණ ලෙස ක්‍රියා නොකිරීමෙන්, බුද්ධිමත්ව කටයුතු කර පරාජය විඳදරා ගැනීමේ ශක්‌තියක්‌ ඕනෑම පුද්ගලයෙකුට තිබිය යුතුය. විවාහ ජීවිතය සැපවත් කර ගැනීමට පමණක්‌ නොව මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ යහපත් පැවැත්ම උදෙසාත් සන්තුෂ්ඨිය, සාර්ථකත්වය සහ ජයග්‍රහණය ජීවිතයට ළඟා කර ගැනීමටත් එකී කරුණු වඩාත් උපකාරීවේ.

         ස්‌ත්‍රියගේ හෝ පුරුෂයාගේ කේන්ද්‍රයේ එක්‌ පාර්ශවයක රවි ග්‍රහයා ප්‍රබලව පිහිටියා වූද අනෙක්‌ පාර්ශවයේ රවි දුබලව පිහිටියේ නම් කිසිදු ගැටලුවක්‌ මතු නොවේ. මන්දයත් රවි බලවත් වූ පාර්ශවය අඬදබර ගැටුම් ඇති කරන නමුදු රවි දුබල වූ පාර්ශවය ඊට අවනතව කටයුතු කරන බැවිනි. ගැටලු පැන නැගුණද සුළු මොහොතකින් ඒ සියල්ල යටපත් වී යයි.

         බිරිඳගේ කේන්ද්‍රයේ රවි හත් වැන්නේ බලවත්ව පිහිටීමෙන් ඇය අනිවාර්යයෙන්ම ස්‌වාමි පුරුෂයාගේ සහ පවුලේ අනෙක්‌ අයගේ යටත් ජීවිතයෙන් මිදී තමන්ගේ මහ ගෙදර බලා එක දිනකට හෝ පිටව යාම ජ්‍යොතිෂ විද්‍යාවේ න්‍යායක්‌ ලෙස සඳහන් කළ හැකි අතර ඒ පිළිබඳ දක්‌ෂ ජ්‍යොතිෂ වේදියාට වටහා ගත හැකිවේ. මෙවැනි කරුණු ජ්‍යොතිෂ විද්‍යාවේ ගුරු මුෂ්ටි ලෙස සැලකුවද පාඨක ඔබගේ ආදරය නොමදව ලැබෙන නිසාවෙන් ඒ පිළිබඳ නොසගවා හෙළි කිරීමට සිතුවෙමි.

         ස්‌ත්‍රියගේ කේන්ද්‍රයේ රවි හත් වැන්නේ බලවත්ව ස්‌වක්‌ෂේත්‍ර වීම හේතුවෙන් මතුවන ගැටලුව පිළිබඳ කතා කළා සේම පුරුෂයාගේ කේන්ද්‍රයේ රවි හත් වැන්නේ බලවත් වීම නිසාවෙන් ඇතිවන තත්ත්වය කෙබඳුද යන්න පිළිබඳ යමෙකුට ගැටලුවක්‌ මතුවේ.

         විවාහ දිවියේදී ඇති වන්නා වූ යම් ගැටලුකාරී තත්ත්වයකදී බිරිඳකට දිව යාමට මහ ගෙදරක්‌ තිබුණද බොහෝ විට පුරුෂයාගේ මහ ගෙදර බිරිඳ වෙසෙන බැවින් ඔහුට යාමට මහ ගෙදරක්‌ නොමැත. හේතුවකින් තොරව ඔහුට නිවසින් පිටව යාමට නොහැකි බැවින් ඔහු බාහිර පාර්ශවයක්‌ සමග කිසියම් පැටලැවිලිකාරි තත්ත්වයක්‌ ඇති කර ගනිමින් ඒ කාලය නිවසින් බැහැරව ගෙවා දැමීමට උත්සාහ දරයි.

         ජීවිතය කියන්නේ මහා පුදුමාකාර සුන්දර දෙයක්‌ බව අමතක නොකරන්න. විඳින්න තිබෙන ජීවිතය විඳවීමකින් තොරව අප මේ ගමන යා යුතුය. ඔබේ යුග දිවියට මෙලෙස බලපාන්නා වූ අවහිරතා, බාධක මඟහැර ගනිමින් විවාහ ජීවිතයේ පිරිහීමේ දොරටුව වසා දමා, දියුණුවේ මාවතට ගමන් කිරීමට නම් ඔබ විවාහ දිවියට පා තැබීමට පෙරාතුව ඔබේ පොරොන්දම් දක්‌ෂ, ජ්‍යොතිෂ වේදියෙකු ලවා පරීක්‌ෂා කර ගැනීමට ඔබ වගබලා ගත යුතුය. අපි ජිවිතයේ වැදගත් තීරණ ගනු ලබනනේ ඉතා විරල අවස්‌ථා කීපයකදී පමණි. එහිදී විවාහයට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. ඒ මන්දයත් විවාහය යනු අපේ ජීවිතයට එකම වරක්‌ මුහුණ දීමට සිදුවන්නා වූ එක්‌ තීරණාත්මක සංධිස්‌ථානයක්‌ වන බැවිනි.

          මේ සමගම විවාහය සම්බන්ධ තීරණයක්‌ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට උපදේශයක්‌ දෙමි.

         ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ ගන්නා ලද යම් තීරණයකදී දක්‌ෂ, ප්‍රවීණ, ප්‍රසිද්ධිය, රැල්ල මත්තේ ම හැපීමෙන් නිගමනයකට ඒමට වඩා ජ්‍යොතිෂවේදින් තුන් දෙනෙකුගෙන්වත් ගනු ලබන අදහස්‌ උදහස්‌ ගලපා බලා ඉන් දෙදෙනකු දෙනු ලබන තීරණය නිවැරදි බව සිතා කටයුතු කිරීම යහපත් වේ. එහිදී ඔබට මුහුණදීමට සිදුවන හානිය අවම කරගත හැකි වන අතර ඒකාන්තයෙන් ම යහපත් යුගදිවියක්‌ ගත කිරීමට අවස්‌ථාව උදාවේ.


ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

රබන් සුරල් මැද මනමාලයාගේ ගෙදරට ගියත්..

රජකම් කළත් කළකම් පළදේ..

          කුජ දෝෂ දුරු කිරීම සඳහා කුජ අදාළ රාශී වල පිහිටීම මඟින් මෙන්ම කෝටියක්‌ දෝෂ භංග කරන්නා වූ ගුරු ග්‍රහයාගේ බලවත්වීම සම්බන්ධයෙන් අපි මීට පෙර කතා කළෙමු.

         මීට පෙර කතා කළ එම ක්‍රමවේදයන්ගෙන් කුජ දෝෂය දුරුකර ගැනීමට නොහැක්‌කේ නම් ජ්‍යොතිෂ විද්‍යාවෙන් අපට තවත් ගත හැකි විකල්ප ක්‍රම තිබේද යන්න අද අපි විමසා බලමු.

         කුජ දෝෂය පවතින කේන්ද්‍රය හා ගැළපීමට නියමිත අනෙක්‌ පාර්ශවයේ කුජ සිටින රාශියේ බලවත් ලෙස රවි පිහිටා තිබීම මෙම බහුම දෝෂය දුරුකර ගත හැකි තවත් විකල්ප ක්‍රමයකි.

          ස්‌ත්‍රී කේන්ද්‍රයේ හෝ පුරුෂ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ පිහිටා ඇති අතර අනෙක්‌ පාර්ශවයේ කුජ පිහිටීමක්‌වත්, ගුරු පිහිටීමක්‌වත් නොමැතිව, එම දෙපළගේ කේන්ද්‍රයේ පහත සඳහන් ගැළපීම් ඇත්නම් පමණක්‌ එනම්.

          ස්‌ත්‍රී කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ තිබියදී පුරුෂයාගේ කේන්ද්‍රයේ රවි හත්වැන්නේ පිහිටා තිබීම හෝ පුරුෂ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ තිබියදී ස්‌ත්‍රී කේන්ද්‍රයේ රවි හත්වැන්නේ පිහිටා තිබීමෙන් මේ දෙදෙනා ප්‍රේම සබදතාවක්‌ ඇති කරගෙන සිටින්නේ නම් එය පෙර සංසරයේ පුරුද්දක්‌ බව විශ්වාස කළ හැකි ජ්‍යොතිෂය මතයකි. එම විශ්වාසය මත පදනම් වූ ආදරය කඩා බිඳ නොදමා යම් කිසි පිළියමක්‌ යොදනවා යෑයි සිතා කටයුතු කරන්නේ නම් අපට රවි කුජගේ රාශීයේ සිටින්නා වූ බැවින් මෙම විවාහය ඉහත ගැළපීම් මත සිදු කළ හැකි වේ. එසේ නොමැති නම්, 

          එක්‌ පාර්ශවයකින් අනෙක්‌ පාර්ශවයේ කුජ සිටි රාශියේ රාහු පිහිටියහොත් එයද පිළියමක්‌ ලෙස සලකා එම දෙපළට එකතු වීමට ඉඩදිය හැකිවේ.

           ඉහත සඳහන් කළ එක්‌ ක්‍රමවේදයකටවත් දුරු කළ නොහැකිව කුජ දෝෂය සහිත කේන්ද්‍රයේ අනෙක්‌ පාර්ශවය හා ගැළපිය නොහැකි වේ නම් "රජකම් කළත් කළකම් පළ දේ" යන කියමන මෙන් මේ ආත්මයේදී නොව පෙර ආත්ම භාවයක සිදු කරනු ලැබූ යම් අකුසලයක්‌ මේ ලෙස ගෙවන්නේ යෑයි සිතිය යුතුය.

           මේ ආත්මයේ සිදු කරන හොඳ නරක අපි මතු ආත්මයට ගෙන යන බව බෞද්ධයන් වන අපගේ විශ්වාසයයි.

           යම් තරුණයෙක්‌ තමන්ගේ අපිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන තමා අවස්‌ථාවාදීව ක්‍රියාකොට යම් තරුණියකට මේ ආත්මයේ විශාල අසාධාරණයක්‌ සිදු කළේ යෑයි සිතන්න. නමුත් ඒ තරුණිය දහසකුත් බලාපොරොත්තු මැද රබන් සුරල් මැද මනමාලියක්‌ වී නෑදෑයන් සමඟ තම ස්‌වාමියා ගේ නිවහනට යාමට කෙතරම් සිහින මවන්නට ඇත්ද?

           තරුණයාගේ පටු, අපිරිසිදු චේ
තනාව හේතුවෙන් එම සම්බන්ධයට කාලයත් සමඟ නැවතීමේ තිත තැබීමට සිදුවීම කෙතරම් ශෝක ජනකද?

           ඇයට ද්වේෂය පෙරදැරි කරගෙන ඉදිරි ජීවිතයට මුහුණ දීමට සිදුවෙයි. ඇයගේ සිහින ලෝකය කඩා ගෙන වැටෙයි. ඇයට ඇයගේ හිතට එකඟව වෙනත් සුදුසු විවාහයක්‌ කර ගැනීමට බාධා ඇතිවන බැවින් ඇයට නොගැළපෙන විවාහයකට යාමට සිදුවේ.

            ඇයගේ ජීවිතයට මෙම ඉරණම අත්වීම පිළිබඳ මුළු ජීවිත කාලය පුරාම හඬමින් කාලය ගත කිරීමට සිදුවෙයි. ඇයට මෙම අපරාධය කිරීමෙහිලා වගකිව යුත්තාට යම් ආත්මයකදී එය ගෙවා දැමීමට සිදුවීම ජ්‍යෙතිෂය අපූරුවට පෙන්වා දෙනු ලබයි. ඒ කෙසේද යත්...

            ඉහත සඳහන් කරන ලද තරුණයාට යම් ආත්ම භාවයකදී හමුවන්නා වූ තරුණිය කිසිසේත් ඔහුගේ හඳහන හා නොගැළපේ. නමුත් ඔවුන් දෙපළ "අපට ජ්‍යෙතිෂයෙන් කිසිදු යහපතක්‌ නොවන්නේ" යෑයි සිතමින් විවාහය සිදු කර ගනියි. හත්වැන්නාධිපතියා අටට ගොස්‌, අටවැන්නාධිපතියා හතට යාම යන පරිවර්තන යෝගයක්‌ ඇති දෙපළක්‌ එලෙස හිතුමතයේ විවාහ වෙයි. ඉහත කී පෙර ආත්මයේ සිදු කරන ලද අකුසලය මේ ආත්මයේ ඔහුට අනිවාර්යයෙන්ම ගෙවා දැමීමට සිදුවේ. ඔවුන් දෙපළ සුන්දරව කලදවස ගෙවා යන අතරමග ස්‌ත්‍රීය හෝ පුරුෂයා ජීවිතයෙන් සදහටම සමු ගැනීම නිසා එක්‌ පාර්ශවයක්‌ කණවැන්දුම් වේ. කසළ ගොඩට කසළ එකතු වන්නා සේ එසේ සංසාරයේ සිදුකරන ලද පාප කර්ම යම් ආත්මයකදී අනිවාර්යයෙන්ම විඳීමට සිදු වීම කිසිදු බලවේගයකටත් වැළැක්‌විය නොහැක.

             එසේ නොමැතිව ස්‌ත්‍රියගේ කේන්ද්‍රයේ බහුම දෝෂ සහිතව තිබියදී අනෙක්‌ පාර්ශවය දෝෂ ගෙන දෙන්නා වූ පාප කේන්ද්‍රයක්‌ නොවන්නේ නම් හෝ ගුරු, රවි, රාහු යන ග්‍රහයන්ගේ පිහිටීමකින්වත් එකී දෝෂ දුරුකර ගැනීමට නොහැකි වුවද ඔවුන් දෙදෙනාගේ ආදරය සංසාරයේ පතාගෙන එන පරම පිවිතුරු නම් එයද ජ්‍යෙතිෂයෙන් අනාවරණය කර ගත හැකිවේ.

            අතීතයේ සිදු වුණුදේත්, වර්තමානයේ සිදුවන දේත්, අනාගතයේ සිදුවීමට නියමිත දේත් නිතැතින්ම කිව හැකි ශාස්‌ත්‍රයක්‌ වේද ඒ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයයි.

             පෙර සංසාරයේ කොතැනක සිටියේද? කවරාකාරයේ පුද්ගලයෙක්‌ වී සිටියේද? ඒ ආත්මයේ දී කුමක්‌ කළේද? මේ ආත්මයට එකී කාරණා බලපාන්නේ කෙසේද? එතැනින් පසු ඉදිරි ආත්මය ගත කරන්නේ කෙසේද යන වග ජ්‍යෙතිෂය විද්‍යාව නැමැති විෂය ගැඹුරින් හදාරනු ලැබූ ජ්‍යෙතිෂවේදියෙකුට පැවසිය හැකිය.

              පිරිසිදු ආදරයක්‌ කඩා බිඳ නොදමා නුවණැසින් දක්‌ෂ ජ්‍යෙතිෂවේදියකු ලවා විමසා බලා එම දෙපළ පෙර සංසාරයේ කිසිදු පාපකාරී ක්‍රියාවලට හවුල් නොවී ඇත්නම් දෙවියන්ගේ පිහිට ලබා දීමෙන් ඔවුන් දෙපළ එකතු කර යහපත් පවුල් ජීවිතයක්‌ ගත කිරීමට මඟ පාදා දීම කළ හැක.

උදා - ඓශ්චර්යා රායිගේ සහ අභිෂේක්‌ බච්චන්ගේ විවාහය

             ජ්‍යෙතිෂ විද්‍යාව යන විෂය වනාහි සත්‍යවාදී විෂයකි. පොරොන්දම් විෂයද එලෙසමය. නමුත් මේ සියලූම කරුණු වලින් ගත යුතු දේ පමණක්‌ ගෙන ගතානුගතිකව ඇලී ගැලී නොසිට පමණට වඩා කිසිදා කාරණාවකට බිය නොවී, 100% ක්‌ ශුද්ධවම නොගෙන යම් දුරකට නුවණින් තෝරා පහදා ගෙන විවාහ වීමට කටයුතු කිරීම යහපත් වේ. නැතහොත් අපේ ජිවිතයට කිසිදා සැනසීමක්‌ ඇති නොවේ.

             මීට පෙර ඔබ වෙත ගෙන හැර දැක්‌වූ කරුණ ජ්‍යෙතිෂ විද්‍යාවේ හෙළි කරන කරුණු වේ. කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව එකී කරුණු සඳහන් කරන්නට යෙදුනේ ආධුනික ජ්‍යෙතිෂ වේදියෙකුගේ ඇස්‌ පෑදීමටත්, විවාහ දිවියට පා තබන තරුණ තරුණියන්ට ජ්‍යෙතිෂ විද්‍යාව පිළිබඳ බියක්‌ ඇති නොකර ගනිමින් යම්තාක්‌ දැනුමක්‌ ලබා ගෙන සිතට සැනසීමක්‌ දීමටය. 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

දෙදෙනාගේ ම කුජ හත්වැන්නේ නම් විවාහ ජීවිතය සාර්ථකයි..

             මීට පෙර අපි කතා කරනු ලැබුවේ කුජ හතේ හෝ අටේ පිහිටීම කනවැන්දුම් යෝගයක්‌ ද යන කරුණ පිළිබඳවය. එම බහුම දෝෂය මැඩගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ කේන්ද්‍රයේ ඇති කුජ පිහිටීමට අනෙක්‌ පාර්ශ්වය ගළපා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දැන් විමසා බලමු.

          යම් ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ කේන්ද්‍රයේ මෙම කුජ හත් වැන්නේ පිහිටා තිබෙන්නේ නම් එය දුරු කර ගැනීමට ඔහු හෝ ඇය තෝරා ගත යුතු අනෙක්‌ පාර්ශ්වය මෙසේය.

           කුජ - 01, කුජ - 02, කුජ - 04 - කුජ - 07 - කුජ - 8 හෝ කුජ 12 යන රාශියක පිහිටි අයෙකු වීම. මෙය වැදගත් වේ.

           විශේෂයෙන් යම් කෙනෙකු ගේ කේන්ද්‍රයේ කුජ හත් වැන්නේ පිහිටියේ නම් අනෙක්‌ පාර්ශ්වයේද කුජ හත් වැන්නේම පිහිටා තිබීම සාර්ථක විවාහ ජීවිතයකට සුදුසු ග්‍රහ පිහිටීමක්‌ බව ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි.

           වසර ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව කාලය ඉක්‌ම විවාහයට නැකැත් සෑදීමේදී හෝ දින නියම කර ගැනීමේදී හෝ විසි පොරොන්දම් ගැළපීමේදී මෙම කුජ දෝෂය යම් ස්‌ත්‍රියකට හෝ පුරුෂයෙකුට බලපාන්නේ නම් එම දෙපාර්ශ්වයටම විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. අපි මීට පෙර ඒ පිළිබඳ කතා කළෙමු.

           එක්‌ කේන්ද්‍රයක මෙම බහුම දෝෂය හෙවත් කුජ හතේ පිහිටීම තිබේ නම් අනෙක්‌ කේන්ද්‍රයේ එම දෝෂය නොමැති නම් වෙනත් ගැළපීමක්‌. කැපීමක්‌ ඇතිද යන වග ජ්‍යොතිෂවේදියා විසින් පරීක්‌ෂා කර බලා පැලැස්‌තරයක්‌ එළීමට ඔහු තම තෙවැනි ඇස උපකාරී කරගත යුතුය.

          ඉහත සඳහන් කළ කුජ රාශින්ගේ ගැළපීමක්‌ සිදු කිරීමට නොහැකි නම් ජ්‍යොතිෂ විද්‍යාවේ පරතෙරට යාමෙන් අපට දිය හැකි වෙනත් විකල්ප ගැළපීම්වලට යා හැකිවේ. ඒ අතර,

          කුජ දෝෂය පිහිටා ඇති කේන්ද්‍රයක අනෙක්‌ පාර්ශ්වයේ ගුරු ග්‍රහයා ලග්නාධිපතිව සිටීම කෝටියක්‌ දෝෂ භංග කරනු ලබන ග්‍රහ පිහිටීමක්‌ වන නිසාවෙන් මෙම කුජගේ දෝෂය භංග කර දැමීමේ ශක්‌තිය ලබාගත හැකිවේ.

          ගුරු ග්‍රහයා තුන් වැන්නේ සිටීමෙන් හත් වැන්න දැකීම නිසා කුජ දෝෂය භංග කර දැමීමේ මතයට පැමිණිය හැකිවේ.

           හත්වැනි රාශියේම ගුරු පිහිටා තිබීමෙන් මෙම කුජ දෝෂය භංග කරලීමට ශක්‌තිය ලබාදීම මත විවාහයක්‌ සිදු කර ගැනීමට හැකිවේ.

           ගුරු එකොළොස්‌ වැන්නේ සිට හත්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ඨියක්‌ ලබා දීම මත විවාහයක්‌ සිදු කර ගැනීමට හැකිවේ.

            ගුරු එකොළොස්‌ වැන්නේ සිට හත්වැන්නට ත්‍රිකෝණ දෘෂ්ඨියක්‌ ලබා දීම තුළින් දෝෂ භංග වීම යන විශ්වාසය පදනම් කරගෙන යම් දෙපළකගේ මෙම බහුම දෝෂයට පැලැස්‌තරයක්‌ එළීමට හැකිවේ.

           කුජ ග්‍රහයා ඉහත සඳහන් රාශිවල පිහිටා තිබීමෙන් හෝ ගුරු ග්‍රහයා බලවත් ලෙස පිහිටා තිබීමෙන්ද මෙම බහුම දෝෂය භංග කර දැමිය හැකි බව ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙයි.

           කුජ දෝෂය පවතින කේන්ද්‍රයක අනෙක්‌ පාර්ශ්වය කුජ රාශිවල පිහිටීම හෝ ගුරු ග්‍රහයා බලවත් වීමක්‌ හෝ සිදු නොවන්නේ නම් අපට ගැළපීම් කළ හැකි තවත් විකල්ප ක්‍රම මොනවාදැයි මීළඟට විමසා බලමු. 
 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌ 

කුජ හතේ හෝ අටේ පිහිටීම කණවැන්දුම් යෝගයක්‌ද?


ජ්‍යොතිෂ විද්‍යාවේ පිහිට පැතීමට පැමිණෙන තරුණ තරුණියන්ගේ සිත්වල පවතින විශාල බියක්‌ වන්නේ "බහුම දෝෂය" හෙවත් අඟහරු (කුජ) ග්‍රහයා හත් වැන්නේ හෝ අටවැන්නේ පිහිටීම යි.

විවාහයකදී පොරොන්දම් පරීක්‌ෂා කරන විට, මේ පොරොන්දම් පරීක්‌ෂා කරන ජ්‍යොතිෂවේදියාගේ ඇස යොමුවන ප්‍රධාන කරුණක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය. ඊට හේතුව වන්නේ මෙම ග්‍රහ පිහිටීම විවාහයට එක්‌තරා ගැටළු සහගත තත්ත්වයක්‌ ලෙස ජ්‍යොතිෂ විද්‍යාව පෙන්වා දෙනු ලබන නිසාවෙනි.

          ස්‌ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයම මේ සම්බන්ධව දැඩි බියකින් පසු වුවද විවාහයේදී පොරොන්දම් ගැලපීමේදී මීට වඩා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කරුණු තිබේ. එමගින් සිදුවන හානි බහුම දෝෂයෙන් සිදුවන හානි වලට වඩා දරුණු වු අවස්‌ථාද අප දැක ඇත.

          එහෙත් බොහෝ විට සමාජයේ ව්‍යවහාරව පවතින්නේ කුජ හතේ හෝ අටේ පිහිටීම විවාහය අසාර්ථක කරනු ලබන කණවැන්දුම් යෝගයක්‌ ලෙසිනි.

           පොරොන්දම් පරීක්‌ෂා කිරීමේදී කුජ ග්‍රහයා මෙන්ම සෙනසුරු, ගුරු, රවී ආදී ග්‍රහයන් පිළිබඳවද සැලකිල්ල යොමුකර පලාඵල කීම වැදගත්වේ.

          මෙහිදි කුජ ග්‍රහයා මුල් කරගෙන කතා කරන බැවින් ඉදිරියෙදි එක්‌ එක්‌ ග්‍රහයන් පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙමු. 

           යොවුන් සිත්වල ඇතිවන උත්තරීතර වු ආදරය භුක්‌ති විඳිමින් වසර ගණනාවක්‌ ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වා ගෙන යනු ලබන දෙදෙනෙක්‌ විවාහ වීමට නැකැත් සෑදීමට යැමේදී හෝ විවාහයට දින නියම කර ගැනීමට යැමේදී කුජ හත් වැන්නේ හෝ අට වැන්නේ තිබීම හේතුවෙන් ඇතිවන බහුම දෝෂ තත්ත්වයට මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන්ට එතැන් පටන් අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවෙති. මන්දයත් ඔවුන් දෙදෙනාගේ එම ප්‍රේම සම්බන්ධය කොයිතරම් දුර ගිය එකක්‌ද, කුමන සීමාවන් තුළ තිබූ එකක්‌ද යන වග දන්නේ ඔවුන් දෙදෙනා පමණක්‌ බැවිනි. එහිදී ප්‍රධාන වශයෙන් චරිතයට හානියක්‌ නැතහොත් අසාධාරණයක්‌ සිදුවනුයේ කාන්තා පාර්ශවයටයි.

            කාන්තාවක්‌ යනු පවිත්‍ර, පිරිසිදු කෙනෙක්‌ වන බැවින් ඇයට වෙනත් විවාහයක්‌ කරා යාමේදී සමාජයෙන්, අසල්වැසියන්ගෙන්, ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ඇතිවන කටකතා, නින්දා අපහාස හේතුවෙන් ඉතා අමිහිරි වූ කටුක අත්දැකීම් විඳ ගැනීමට සිදුවීම නොවැළැක්‌විය හැකි කරුණකි. එහිදී ඇයට මානසික වශයෙන් පීඩා විඳීමට සිදුවෙයි.

            පුරුෂ පාර්ශවය පැත්තෙන් ගත් කල , මුළු හදවතින් ම ආදරය කිරීමට පෙළඹෙන පෙම්වතෙකුට මේ තත්ත්වය උරුම වුවහොත් ඔහු මානසික අසහනකාරීතත්ත්වයට පත් විය හැකිය. බේබද්දෙක්‌ විය හැකිය. ජීවිතයට හානිකර ගැනීම මෙන්ම රැකී රක්‌ෂා අහිමි කර ගැනීමෙන් දෙමාපියන් ද අසරණ කරමින් දරුණු පුද්ගලයෙකු විය හැකිය. එසේත් නැතහොත් කිසිදු පුද්ගලයෙකු, මිතුරකු ඇසුරු නොකරන හුදකලා වූ පුද්ගලයෙකු බවට පත් විය හැකිය.

              එසේ නම් මෙම දෝෂ මැඩගෙන ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ කේන්ද්‍රයේ ඇති කුජ පිහිටීමට අනෙක්‌ පාර්ශවය ගලපා ගන්නේ කෙසේද යන්න මිලගට
විමසා බලමු. 

 ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
  

යුග දිවියට පා තැබු දින පටන් සෞභාග්‍යය කරා යැමට නම්....

          ගතානුගතිකව ජ්‍යොතිෂ විද්‍යාව පොත පතට සීමා නොකොට නොයෙක්‌ පරීක්‍ෂණ කරමින් ඔහු වෙත හඳහන් පරික්‍ෂා කර ගැනීමට පැමිණෙන ජනයාගේ විවිධ ගැටලු නිරාකරණය කිරීම තුළින් ලබාගත් ප්‍රායෝගික දැනුම් සම්භාරය ඒකාරාශී කර ගනිමින් යම් කේන්ද්‍රයක ඇති ග්‍රහදොෂ දුටු සැනින් කිසිදු සැකයකින් තොරව පෙරළා අනාවැකි කීමට සමත් ඔහු නමින් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මංජුල පීරිස්‌ය. එක යෝගයක්‌ හෝ එක්‌ ග්‍රහ පිහිටීමක්‌ සිය දෙනකුට එකම ප්‍රතිඵල ලබාදී තිබේ නම්, එකසිය එක්‌ වැනියාට එසේ නොවීමට හේතුවක්‌ නොමැති බව ඔහුගේ විශ්වාසයයි. ඒ අනුව පොරොන්දම් පිළිබඳ ඔහුගේ මතය මෙසේය.

          ජ්‍යොතිෂ විද්‍යාවට අනුව 'විවාහය' දියුණුව මෙන්ම පිරිහීමේ දොරටුව ලෙස අර්ථ දැක්‌විය හැක. විවාහ දිවියට ඇතුළු වීමට පෙර පොරොන්දම් ගලපා ගැනීමෙන් දියුණුවේ දොරටුව විවෘත කර ගත හැක. හිතුමනාපෙට කිසිදු ගැලපීමකින් තොරව ආදරය හෝ ආශාව සංසිඳුවා ගැනීමට කරගනු ලබන විවාහය නිසා මුළු ජීවිතයම පිරිහීමට හේතුවිය හැක. එකමුතුව ජීවිතයට මුහුණ දීමට නොහැකි වේ නම් යමෙක්‌ විවාහ නොවිය යුතුය. විවාහ ජීවිතයේ පරමාර්ථය වන්නේ අඹු සැමියන් ඔවුන්නොවුන් අන්‍යෝන්‍ය වශයෙන් හරිහැටි හඳුනාගෙන කායික, මානසික තෘප්තිය ලබමින් එකමුතුව ජීවිතය ගත කිරීම වේ. සිත් දෙකක්‌, ශරීර දෙකක්‌, චරිත දෙකක්‌ එකමුතු කරවීමට අනාදිමත් කාලයක සිටම පොරොන්දම් පරීක්‍ෂාණ සිදු කෙරිණ. පොරොන්දම් විනිශ්චය තුළින් මනාව ගැලපෙන යුවළක්‌ තෝරා අරඹන යුග දිවිය සෑම අයුරින්ම උසස්‌ වේ. සැපවත් වේ. හොඳ ආහාර පාන, ඉඳුම් හිටුම්, යාන වාහන ලැබේ. සැමියාගේ පාර්ශ්වය බිරිඳගේ පාර්ශ්වය සමග සුහදශීලීව කල් ගත කිරීමේ වාසනාව ලැබේ. යුග දිවියට පා තැබූ දිනේ පටන් දියුණුව කරා ගමන් කිරීමේ භාග්‍යය ලැබේ. ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියක්‌ සිටිනවාය යන කියමන එමගින් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. ඈත අතීතයේ දොළොස්‌ වසක්‌ සපිරුණු තරුණියක්‌ ද සොළොස්‌වසක්‌ සපිරුණු තරුණයෙක්‌ ද විවාහයට සුදුසුය යන්න මතයක්‌ විය. යම් පියෙක්‌ තම දොළොස්‌ විය පිරුණු දියණිය නිවසේ රඳවා සිටී ද, ඔහු තම දරුවා මරා දැමීමේ පාපයට ගොදුරු වන බවත්, එම පියාට දඬුවමක්‌ ලෙස එම දියණියට තමන් කැමති ඕනෑම පුරුෂයෙකු හා විවාහ වීමට හැකියාව තිබුණි.

                   ආදර සබඳතා මත විවාහවීම් සුලභ නොවූ අතීතයේ යෝජිත සහකරු තරුණියගේ නිවසට පැමිණි කල ඇය බුලත් හෙප්පුව රැගෙන විත් ඔහු පිළිගනු ලැබීය. ඒ යුගයේදී දෙමව්පිය පාර්ශ්වයන් පොරොන්දම් ගලපා තම දියණියගේ හෝ පුතණුවන්ගේ අනාගතය වෙනුවෙන් තීරණ ගන්නට විය.

            බ්‍රහ්ම, දෛවත, ආකර්ෂ, ප්‍රජාප්‍රත්‍ය, අසුර, ගාන්ධර්ය, රාක්‍ෂ, පයිස්‌චාත වශයෙන් අතීතයේ විවාහය ක්‍රම 8 කට සිදු කෙරුණු බව පුරාණ ඉන්දියාවේ ධර්ම ශාස්‌ත්‍ර ආචාර්යවරු පවසා ඇත.

             පොරොන්දම් පරීක්‍ෂණයේදී ජ්‍යොතිෂවේදියා කියන පුද්ගලයාට ශාස්‌ත්‍රය පිළිබඳ ඥනය හා ප්‍රඥව මෙන්ම තුන්වැනි ඇසක්‌ද තිබීම වැදගත් වේ. එක්‌ යෝගයක්‌ සහ එක්‌ ග්‍රහයකු පිළිබඳ එක්‌ එක්‌ ජ්‍යොතිෂවේදීන් වෙනස්‌ වූ අයුරින් දැකිය හැක. මෙහිදී එහි පිහිට පතන පුද්ගලයාට එමගින් සාධාරණයක්‌ හෝ අසාධාරණයක්‌ සිදුවේ. අපි කියන අනාවැකිය අපේ හෘද සාක්‍ෂියට එකඟව, ඒකාන්තයෙන්ම සිද්ධ වේ නම් පමණක්‌ කිව යුතුය. පොරොන්දම් නොගැලපීම් මත අපි බැඳලා මාස හයෙන් මැරෙනවා කිව්වා, අපි බැඳලා අවුරුදු පහකින් වෙන්වෙනවා කිව්වා, අනේ අපට දරුවන් ලැබෙන්නේ නෑ කිව්වා, අපි දෙන්නා විවාහ වුණොත් අම්මා මැරෙනවා කිව්වා ආදී වශයෙන් බහුතරයක්‌ මැසිවිලි නඟති. මෙවැනි දේට අනාවැකි කීමේදී බොහොම පරීක්‍ෂාකාරීව සිතා, එම මොහොතේම පිළිතුරු දිය නොහැකි නම් තව දුරටත් එම කේන්ද්‍ර පිටපත් අධ්‍යයනය කර තම අදහස පැවසිය යුතුය. එසේ නොමැතිව අත්තනෝමතිකව තම අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් සිදුවන හානිය කියා නිම කළ නොහැකි මෙන්ම ඒ තුළින් ජ්‍යොතිෂ විද්‍යාවද පරිහානියට පත්වේ. පොරොන්දම් නොබලාම විවාහ වෙනවා යන මතයට වඩා පොරොන්දම් ගලපා විවාහවීම තුළින් තමාට යම්කිසි ආරක්‍ෂාවක්‌ සපයා ගනිමින් යුග දිවිය සාර්ථක කර ගැනීමට ඇති අවකාශය වැඩි වේ. යමෙක්‌ පොරොන්දම් විශ්වාස කළා හෝ නොකළා හෝ ජ්‍යොතිෂ විද්‍යාව කිසිදු ජාතියකට, ආගමකට, කිසිදු කුල මල භේදයකට ආවේණික වූ පටු ශාස්‌ත්‍රයක්‌ නොවන අතර කොයි කා හටත් පොදුවේ වැඩදායක කර ගත හැකි ශාස්‌ත්‍රයකි.

            නැකත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දීර්ඝ, යෝනි, රාශි, රාෂ්‍යාධිපති, වශී, රඡ්ජු, වේද, වෘක්‌ෂ, ආයුෂ, පක්‍ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, නාඩි, දින, ග්‍රහ ආදී වශයෙන් පොරොන්දම් 20 කි. මෙම පොරොන්දම් විස්‌සම ගලපා ගැනීමට හතිදාගෙන දිවීමට අවශ්‍ය නැත. ජ්‍යොතිෂවේදියෙකු හැටියට මගේ පෞද්ගලික දැනීම වන්නේ අනිවාර්යයෙන්ම නැකත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දීර්ඝ, යෝනි සහ රාෂ්‍යාදී යන මේ පොරොන්දම් 07 ඉතා හොඳින් ගැලපේ නම් අනෙක්‌ පොරොන්දම් නොගැලපුනද විවාහයට විශාල බාධාවක්‌ නොවන බවයි. මෙහිදී විශේෂයෙන් ගණ සම්බන්ධව කතා කළ යුතුය. මම දේව නැතහොත් මනුෂ්‍ය ගණයේ මගේ අතගන්නා සහකරු හෝ සහකාරිය රාක්‍ෂ ගණයේ පිහිටා තිබීම නිසා දෙමව්පියන් පවසනුයේ, කොහොමද දේව හෝ මනුෂ්‍ය ගණයේ උපන් අයෙක්‌ රාක්‍ෂයෙක්‌ සමග පවුල් ජීවිතයක්‌ ගත කරන්නේ යන මිථ්‍යා විශ්වාසය පැතිරී තිබීමය. එහි ඇති සත්‍යය වන්නේ රාක්‍ෂ ගණයේ පුද්ගලයෙක්‌ දේව හෝ මනුෂ්‍ය ගණයේ සහකරුව හෝ සහකාරියව දැඩි නීති පනවමින් පමණ ඉක්‌මවා ආරක්‍ෂා කර ගැනීමට පෙළඹීමයි.

             යමෙක්‌ අවුරුදු ගණනක්‌ ආදරය කිරීමෙන් පසු පොරොන්දම් නොගැලපීම මත විවාහ නොවී සිටීම ජ්‍යොතිෂ විද්‍යාව ඔවුනට සිදු කරන අසාධාරණයක්‌ වේ. පෙර ආත්මයේ අන්‍යෝන්‍ය සම්බන්ධකමක්‌ නොමැති නම් ඔවුන්ට දිගු කාලයක්‌ ආදරය කිරීමට හැකියාවක්‌ නැත. එසේ නම් සසරේ ආ දිගු ගමන නිසා ඔවුන් විවාහ වීමට එක්‌ අංශයකින් සුදුසුකම් ලබා ඇත.

            යෝජිත විවාහයකදී කෙටි කාලයක්‌ ඇසුරු කිරීමෙන් පොරොන්දම් නොගැලපීම මත අනාගතය වෙනුවෙන් දෙදෙනා ඈත් වූවාට කම් නැත. නමුත් වසර දහයක්‌ පමණ ආදරය කිරීමෙන් පසු පොරොන්දම් නොගැලපීම මත වස විස කා මිය යාමට අවශ්‍ය නොවේ. ඒ සඳහා ජ්‍යොතිෂයේ කළ හැකි ප්‍රතිකර්ම ද වේ. උදාහරණයක්‌ ලෙස ඉන්දියානු නිළි අයිශ්චර්යා රායිගේ සහ අභිෂේක්‌ බච්චන්ගේ කේන්ද්‍රවල නොගැලපීම් ඉන්දීය දෛවඥයින් විසින් පෙන්වා දෙනු ලැබීය. එයට ප්‍රතිකර්මයක්‌ වශයෙන් ආයුෂ අඩු ගසක්‌ වන කෙසෙල් ගස සමග අයිශ්චර්යාගේ පළමු විවාහය සිදු කෙරිණි. කාලය ගත වීමත් සමග කෙසෙල් ගසට මැරෙන්න ඉඩ දී දෙවැනි විවාහය ලෙස අභිෂේක්‌ සමග විවාහ වුණා. මෙවැනි විකල්ප ක්‍රම මගින් දොෂ භංග කර දැමීමට පුළුවන්කම ඇත. මොනම අයුරකින්වත් පොරොන්දම් නොගැලපෙන දෙදෙනෙක්‌, නමුත් ඔවුන් ප්‍රායෝගිකව හැසිරීමේදී පවා ඇත්තේ පුදුමාකාර බැඳීමක්‌. මේ තත්ත්වය කුමක්‌දැයි මම විමසා බලන්නට වීමි. පොරොන්දම් නොගැලපෙන දෙදෙනෙක්‌ විවාහ වුණා. දසමසක්‌ සපිරෙන කල දරු සුරතල් බලන්නට ඔවුන් වාසනාව ලැබුවා. ඒ දරු පැටියාගේ කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේදී එහි ඇත්තේ මවගේ සහ පියාගේ සෙනෙහස උපරිමය උරුම වෙන යෝගයක්‌. එසේනම් ඒ දෙමවුපියන් කිසිසේත් වෙන්වන්නේ නැත. එහිදී දෙමවුපියන්ගේ පොරොන්දම් වලට වඩා දරුවාගේ සෙනෙහස, ආදරය, දෛවය මුල් වීම තුළින් පවුල නමැති ඒකකය වඩාත් ස්‌ථාවර වී ඇත. 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌