නැකත් පොරොන්දම

           1. අස්‌විද 2. බෙරණ 3. කැති 4. රෙහෙණ 5. මුවසිරස 6. අද 7. පුනාවස 8. පුෂ 9. අස්‌ලිස 10. මා 11. පුවපල් 12. උත්‍රපල් 13. හත 14. සිත 15. සා 16. විසා 17. අනුර 18. දෙට 19. මුල 20. පුවසල 21. උත්‍රසල 22. සුවණ 23. දෙනට 24. සියාවස 25. පුවපුටුප 26. උත්‍රපුටුප 27. රේවතී

ආදී වශයෙන් ජ්‍යොතිෂ විද්‍යාවේ නැකැත් 27 කි.

           ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකතට ගැළපෙන නැකතක්‌ තෝරා ගැනීම නැකත් පොරොන්දම තුළින් සිදුවේ.

           ස්‌ත්‍රිය උපන් නැකත සිට පුරුෂයා උපන් නැකත දක්‌වා අපි ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධක - වද - මෛත්‍රී - පරම මෛත්‍රී වශයෙන් ගණනය කළ යුතුය. එහිදී ජන්ම - සම්පත් ලෙස නැකත වී නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් ක්‌ෂේම නැකතක්‌ වී නම් ශුභයි. ඡන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි නැකතක්‌ වී නම් අශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධ නැකත නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධ - වද නම් අශුභයි.

අපි උදාහරණයක්‌ ගෙන බලමු.

           යම් ස්‌ත්‍රියක්‌ අස්‌විද නම් නැකැත් 27 න් පළමු නැකතෙන්ද පුරුෂයා කැති නැකතින්ද උපන්නා යෑයි සිතන්න. එහිදී අස්‌විද, බෙරණ , කැති යන නැකැත් පිළිවෙළින් ජන්ම සම්පත් - විපත් ලෙස ගණනය කරන්න. කැති නැකතට විපත් යෙදෙන නිසාවෙන් එම දෙපළගේ නැකත් පොරොන්දම නොගැළපේ. මෙම ක්‍රමයට ගණනය කිරීමේ අපහසුතාවයක්‌ ඇත්නම් පහත සඳහන් ක්‍රමය අනුගමනය කළ හැකිවේ.

          ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 2, 4, 6, 8, 9, 11, 13, 15, 17, 18, 20, 22, 24, 27, යන නැකත වී නම් ශුභයි. අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි. මේ ක්‍රමයටම නැවත පුරුෂයා උපන් නැකතේ සිට ස්‌ත්‍රිය උපන් නැකත ද 2, 4, 6 ආදී නැකතක්‌ වී නම් වඩාත් ශුභ ලෙසත් අන්‍ය නැකතක්‌ වී නම් එය ඉතා අශුභ බවත් ජ්‍යොතිෂය පෙන්වා දෙයි.

දෙදෙනාම එකම නැකතේ පාද දෙකක වී චන්ද්‍ර රාශියද එකක්‌ම වී නම් ශුභයි. එවිට ධනය ද, පින ද, සමගිය ද ඇතිවේ.

දෙදෙනා නැකත් දෙකක වී චන්ද්‍ර රාශිය එකක්‌ම වී නම් දරු ලාභ හා සැප ලැබේ.

දෙදෙනාම එකම නැකතේ වී චන්ද්‍ර රාශි දෙකක නම් දෙදෙනාටම සැප නොලැබේ.

දෙදෙනා ම එකම නැකතේ එකම පාදයේ නම් අශුභයි.
 
දෙදෙනා ම එකම චන්ද්‍ර රාශියේ වී පුරුෂ නැකත මුල් නැකත ද, ස්‌ත්‍රී නැකත දෙවන නැකත ද වී නම් ඉතා ශුභයි.

දෙදෙනාම එකම චන්ද්‍ර රාශියේ වී, ස්‌ත්‍රී නැකත මුල් නැකත ද, පුරුෂ නැකත දෙවැනි නැකත ද, වී නම් ස්‌ත්‍රී නැකතට පුරුෂ සම්පත් වුවත් ශුභ මධ්‍යමයි.

දෙදෙනා ම එකම නැකතේ වී පුරුෂයා මුල් පාදයත්, ස්‌ත්‍රී පසු පාදයත් වීමද ශුභයි.

        දැන් ඔබට නැකත් පොරොන්දම හා එයින් සිදුවන කාර්යභාරය පිළිබඳ යම් වැටහීමක්‌ ලැබී ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌
 

No comments:

Post a Comment